Thursday, August 16, 2012

අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව



හතරවෙනි ගාථා රත්නය
අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

"අසිරිමත්ය රහතුන්ගේ ගුණ..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධම්ම පදයේ අරහන්ත වර්ගයට අයත් කථාවක් තමයි අපි දැන් ඉගෙන ගන්නේ.මේ කොටසේ ඇතුළත්ව තියෙන්නේ රහතන් වහන්සේලා ගැනයි.ඔයාලට තව දුරටත් රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න ලැබෙනවා.මෙවැනි යුගයක රහතුන් ගැන මේ අයුරින්වත් දැනගන්න ලැබීම මොනතරම් ලාභයක්ද!

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් හිටියා.උන්වහන්සේගේ නම අනුරුද්ධ.අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවැස් ලාභීන් අතර අග්‍ර වුණා.දෙවියන්ටත් උන්වහන්සේව හරි ප්‍රියයි.

දව්සක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙහෙම කල්පනා කළා.

"දැන් මං පොරවන සිවුර හරිම පරණයි.දිරලා ගිහින් තියෙන්නේ.අමු සොහොනකට ගිහින් රෙදි කෑලි එකතු කරගන්න ඕන.එතකොට සිවුරක් කරගන්න පුළුවන් වේවි."

ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ පාංශුකූල රෙදි සෙවීම පිණිස අමු සොහොනට වැඩියා.

ආත්මභාව තුනකට පෙර අනුරුද්ධ තෙරුන්ගේ බිරිඳක් වී සිටි තැනැත්තියක් තව්තිසාවේ ඉපදිලා සිටියා.ඇයගේ නම ජාලිනී.මේ ජාලිනී දෙව්දුව අනුරුද්ධ තෙරුන් සිවුරක් පිණිස රෙදි කැබලි සොයමින් යන අයුරු දැක්කා.

"හනේ....අපගේ මේ ආර්ය පුත්‍රයන් වහන්සේ මොනතරම් පින්වත් කෙනෙක්ද? ගිහි ජීවිතය ගෙවන කාලෙ 'නැහැ' කියන වචනයවත් අහන්න ලැබුනෙ නෑ.හැම සැපතක්ම ලැබුණා.දැන් වුණත් උන්වහන්සේ හිතන පමණින් ඕනම දෙයක් ලැබෙනවා.නමුත් කිසිවකට ඇලෙන්නෙ නෑ.අල්පේච්ඡ බවෙන් යුක්තයි.ඒ නිසාමනේ ඉවත දැමූ රෙදි කැබලි සොයන්නේ....මට පිනක් කරගන්න හොඳම වෙලාව.අපේ ආර්යන් වහන්සේ වඩින මග රෙදි කැබලි ටිකක් දමන්න ඕන...."

ඉතින් ජාලිනී දෙව්දුව කසළ ගොඩක රෙදි කැබලි දැම්මා.හැබැයි ඒ හැම රෙදි කැබැල්ලක්ම දිව්‍ය වස්ත්‍ර! අනුරුද්ධ මහ රහතන් වහන්සේ කසළ ගොඩේ වැටී තිබුණු රෙදි කැබලි දැක්කා.ඒවා අහුලාගෙන වෙහෙරට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියා.උන්වහන්සේ දන්නවා මේ රෙදි කැබලි ලැබුණේ කොහොමද කියලා.අනුරුද්ධ මහ රහතන් වහන්සේ කොතරම් දිවැස්ලාභී වුණත් තමන්ගේ ඒ හැකියාව මෙවැනි දේකට යෙදෙව්වේ නෑ.බුදුරජාණන් වහන්සේ සිවුරු මැසීම පිණිස ඉදිකටුවට නූල් දමා දුන්නා.සාරිපුත්ත මහ රහතන් වහන්සේ රෙදි කැබලි මැනලා දුන්නා.සැදැහැවතුන් ප්‍රණීත දන් පැන් අරගෙන ආවා.දෙවිවරුන් දිව්‍ය සුවඳ පැතිරෙව්වා.හැම තැනම මංගල සිරියක් ගත්තා.අලුත පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට මෙය අමුතු විදියට පෙණුනා.

"හරි වැඩක් නොවැ....හැම තැනම කෑම බීම ඉතිරිලා ගිහිල්ලා....මහා විශාල උත්සවයකුත් නෑ.අනුරුද්ධ තෙරුන්ට සිවුර මැහීම විතරයි තියෙන්නේ...ඒකට මෙතරම් උජාරුවක් ඕනෙද...? අපට හිතෙන්නේ අනුරුද්ධ තෙරුන්ට ඕන කමක් ඇති තමන්ගේ නෑදෑයන් ලවා සැලකිලි සම්මාන ලබාගෙන අපට පෙන්නන්න.හනේ....අපට ඕන නෑ...."

"පින්වත් මහණෙනි, ඔබ ඔය කතා කරන්නේ මොනවා දැනගෙනද? මේ සියලු දේවල් ලැබෙන්නේ අනුරුද්ධයන් දැනගෙන නොවෙයි.කොටින්ම පාංශුකූල වස්ත්‍රය පවා ලැබුණේ දැනගෙන නොවෙයි.රහතුන්ගේ ස්වාභාවය හඳුනාගන්න එක ලේසි නෑ."

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහ රහතුන් අරභයා මෙම ගාථාව වදාළා.

93.4.

යස්සාසවා පරික්ඛිණා - ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච - විමොක්ඛෝ යස්ස ගෝචරෝ
අකාසේ'ව සකුන්තානං - පදං තස්ස දුරන්නයං

යම්කිසි කෙනෙකුගේ - සියලු කෙලෙසුන් ගෙවී ඇත්නම්
වළඳින දානෙ පිළිබඳ - කිසි ඇල්මකුත් නැත්නම්
මම, මගේ යැයි සළකන - දෙයින් හිස් වී ඇත්නම්
ජීවිතය පිළිබඳව - අවබෝධයක් ඇත්නම්
කෙලෙස් අරමුණු නැති - නිවන අරමුණු වෙත් නම්
ඒ නිවනට ඇළුණු - සිතින් යුතු වී ඇත්නම්
අහසෙහි පියාසළමින් - කුරුල්ලන් ඉගිල යත්නම්
ඔවුන්ගේ පා තැබූ තැන් - කිසිත් අහසේ නැත්නම්
දකීවිද ලොව කෙලෙසේ - රහතුන් වඩින මග නම්

පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේලා වාසය කරන්නේ නිකෙලෙස් සිතින්මයි.උන්වහන්සේලා දන් වැළඳුවාට ඒ වළඳින දානය ගැන අමුතු ඇල්මක් ඇති කරගන්නේ නෑ.සිවුරු පෙරෙව්වාට ඒ පොරොවන සිවුරු ගැන ඇල්මක් ඇති කරගන්නේ නෑ.කුටියක වාසය කළාට ඒ වසන කුටිය ගැන ඇල්මක් ඇති කරගන්නේ නෑ.අසනීපයකට බෙහෙතක් ගත්තත් ඒ ගන්න බෙහෙත ගැනවත් ඇල්මක් ඇති කරගන්නේ නෑ.උන්වහන්සේලා දන්නවා 'මම'ය, 'මාගේ'ය, 'මාගේ ආත්මය'ය කියා ලෝ වැස්සන් සලකන දේ හිස් වූ ලෝකයක් ඇති බව.ඒ නිසා උන්වහන්සේලා ලෝකයට ඇලෙන්නේ නෑ.කෙලෙස් හටගන්නේ අරමුණු නිසා.උන්වහන්සේලා වාසය කරන්නේ කෙලෙස් හටගන්නා අරමුණුවලින් තොරවයි.ඒ නිසා උන්වහන්සේලාට අසහනයක් නෑ.උන්වහන්සේලාගේ හිත යොමු වී තිබෙන්නේ නිදහස වෙතයි.ඒ නිදහස ඇතිවන්නේ සිත තුළයි.සියලු කෙලෙසුන් නිදහස් වූ සිතක ඇති විරාගී සතුට රහතුන් මිස වෙන කවුරු දනිත්ද? අපටත් ඒ රහතුන් ගැන සිත පහදවා ගෙන පහන් වූ සිතින් යුතුව උන්වහන්සේලාට වන්දනා කරන්න ඇත්නම් කොතරම් අගේද! අතීතයේ වැඩසිටි ඒ රහතන් වහන්සේලා නමස්කාර වේවා!

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 7 ( අරහන්ත වර්ගය )
- කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -
 
(Picked from Facebook

No comments:

Post a Comment